Pages

මරණය රතු රෝස මලකි...!

දිවිකුසුමන් වියැකෙන දින
අප වෙනුවෙන් පෙති පිබිදෙන
මරණය රතු රෝස මලකි
සියලු සතගෙ හිස පැළ‍ඳෙන

දිවියෙන් අප ලද සෝ දුක්
එහි සුවන්දින් පිසදා ලන
මරණය රතු රෝස මලකි
අවසන් මොහොතේ පිබිදෙන

දිවි ඇති තුරු හෙලූ කඳුලු
පිණි බිඳු අතරින් හිනැහෙන
මරණය රතු රෝස මලකි
කිසි කලෙකත් පර නොමවෙන

යලි දිවියක් ගැන නොසිතන
අයට සහන සුවය ගෙනෙන
මරණය රතු රෝස මලකි
හැම දෙන එක ලෙස නොදකින

න‍ටුවේ ක‍ටු ගැනම සිතන
අයට නිතර බිය දනවන
මරණය රතු රෝස මලකි
කිසි දින නොපිපී නොතිබෙන

අයෙක් කැකුළු පෙති පුබුදන
අයෙක් නොපිපෙතැයි ‍රැවටෙන
මරණය රතු රෝස මලකි
දිවිය පුරා සුවඳ හමන

දිය ගොඩ වෙනසක් නොදකින
වසන්තයක් ගැන නොසිතන
මරණය රතු රෝස මලකි
සැමදා සැම තැනම පිපෙන

බලාපොරොත්තුව...

(උප මාතෘකාව - අවදිව සිටින්නාගේ සිහිනය)

නිදන්ට ගොස් වැතිරුනු කල යහනේ
නින්ද නොදී මා වළකන සිහිනේ
රෑ තුන්යම නොනිදා නිදි යහනේ
අවදිව සිටියදි මා දු‍ටු සිහිනේ

කිසි දිනෙකත් එලි නොවෙනා සිහිනේ
සැබෑ ලොවේ මා නොදකින සිහිනේ
දිවියට වෙර වීරිය දෙන සිහිනේ
සැබෑ වෙයන් මතුදා ඒ සිහිනේ

සැම දින එක ලෙස නොදකින සිහිනේ
පසුපස යනවිට පැන යන සිහිනේ
පැන යන විට පසුපස එන සිහිනේ
සැබෑ වෙයන් මතුදා ඒ සිහිනේ

සිතට තුරුලුවී හිනැහෙන සිහිනේ
යළි සිත තනිකොට හඬවන සිහිනේ
සිනා කඳුලු එක ලෙස දෙන සිහිනේ
සැබෑ වෙයන් මතුදා ඒ සිහිනේ

අහස උසට මා ඔසවන සිහිනේ
යළි එකවර බිම ඇද ලන සිහිනේ
කිසිවිට මා හැර නොයනා සිහිනේ
සැබෑ වෙයන් මතුදා ඒ සිහිනේ

දුරු රටකට මා කැඳවන සිහිනේ
මා එහි තනිකර පැන යන සිහිනේ
ඈත සිටන් අත වනනා සිහිනේ
සැබෑ වෙයන් මතුදා ඒ සිහිනේ

දිවි ගමනට මග පෙන්වන සිහිනේ
යළිදු අතරමං කර ලන සිහිනේ
මගෙ තනියට ළඟ ගැවසෙන සිහිනේ
සැබෑ වෙයන් මතුදා ඒ සිහිනේ

'හෙට ඉරක් පායයි' ......................... ද???


මහගම සේකර මහත්තයගෙ 'හෙට ඉරක් පායයි' පොත අද මට අහම්බෙන් වගේ හම්බවුනා.  ඒක අතට අරන් බලන කොට මුලින්ම පෙරලුන 8 වෙනි 9 වෙනි පිටුවල තියෙන්නෙ මෙන්න මේ කවිය.

'වසා දමමි මුලු මහත් අතීතය
වසා දමමි අනාගතය
වර්තමානය පමණි ජීවිතය'

එකෙනෙහිම
අතීතය
හොරෙන් විත්
පෙනෙන
නොපෙනෙන                          දුරට
පෙන්වයි ඇඟිල්ල දික්කර
අර බලපන්
අර බලපන්
අනාගතේ
සොඳුරු සිහින

මගේ හීන කවදා හරි හැබෑ වෙයන්
තවත් හීන ඉන් පස්සේ උදා වෙයන්
බලාපොරොත්තුව
මා හැර දමා නොයන්
නිදා ඉන්නකොට සිහිනෙන් සිනා සියන්

සේකර මහත්තයා 'හෙට ඉරක් පායයි' කෘතිය තුලින් කවියේ ආකෘතිය පිළිබඳ යම් විදිහේ අත්හදා බැලීම් කරල තියනවා.  ආකෘතිය කියල මං කිව්වෙ කවියේ බාහිර පෙනුම.  අකුරු වල ප්‍රමාණය, අකුරු නොවන සංකේත භාවිතය හා ඒවා පිටුව මත සකසා ඇති ආකාරය ආදිය තුලින් තමා කියන්නට හදන අදහස ඉදිරිපත් කිරීම හෝ එම අදහස වඩාත් තීව්‍ර ලෙස ප්‍රකාශ කිරීම සඳහා එතුමා ම්හිදී උත්සාහ කර තිබෙනවා.  කාව්‍ය කරණයේ නව මං සොයා යන අයට කියවිය යුතුම කෘතියක් ලෙස මෙය නිර්දේශ කල හැකියි.  මම ඒ ගැන වැඩි දුර කියන්න යන්නෙ නෑ, මොකද මම සාහිත්‍යය ගැන ගොඩක් දන්න පණ්ඩිතයෙක් නොවන නිසා. 

මට මේ කවිය කියවද්දි මතක් වුනා මම ලියපු කවියක්.  මට ඒක ලියන්න අදහස ආවෙ නම් සේකර මහත්තයගෙ කවියෙන් නෙවෙයි. මම ඊලඟට ඒ කවියයි නිදාන කතාවයි ලියන්නම්කො...