උපන් දිනය ගතවෙලා දවසක් දෙකක්ම ගත වුනා. ඒත් උපන් දිනය වෙනුවෙන් දාන්න හිතපු පෝස්ට් එක තාම මග. කමක් නෑ... Better late than never කියල තියනවනෙ...
මේ චන්ද්‍රසිරි දොඩන්ගොඩ මහතා මීට අවුරුදු ගණනාවකට පෙර දිවයින ඉරිදා සංග්‍රහයට ලියපු කවියක්. මුලින්ම කියවපු දවසේ වගේම අදත් හදවතින්ම ආදරය කරන ලස්සන අරුත්බර කවියක්. අපි කියවලම බලමු...
"අශුභ දවස"
දින දසුනකින් ගිලිහුන කොලයක් විලස
අමතක වුනා මට මා ඉපදුන දවස
ඔබ එවු ශුභ පැතුම දුටු දිනයෙහි සවස
මා ගැන දුක සිතී කඳුලක් විය දෙඇස
හිස පීරන පනාවෙහි දැත්තක ඇමිණී
බාගෙට ඉදී එන කෙස් රොද දුටු සැනෙනී
තනි බෝඩිමක සිවු තිස් වසරක් පැරණී
මා කොයි තරම් විය පත් වී දැයි සිතුනී
කාලය ගලා ගියමුත් ඉහටත් වැඩිය
ජීවිතයටම එක ශුභ දවසක් නොවිය
මේ ශුභ උපන් දිනකැයි පවසනු බැරිය
පෑනට මට වඩා අද මා ගැන දුකය
දවසින් දවස මියයන දින ඇදෙනු දැක
මධුවිත පුරවනා මිනිසුන් දැකිය හැක
උපතත් මරණයත් අතරෙහි එකම එක
වෙනසක් තිබේ එය සුසුමකි රැඳුනු දුක
අපූරුයි නේද...?
මා අතිනුත් ඔය විදිහෙම කවියක් ලියවුණා. ලිව්වා නෙවෙයි ඇත්තටම ලියවුණා. මගේ කවියෙ තියන සියලුම ප්‍රධාන කරුණු එදා ලියපු දවස වනවිට සම්පූර්ණ ඇත්ත... එකක් හැර... ඒ දවස් වල පෙම් තිළිණ එවන්න කෙනෙක් හිටියා... (මේ ලියන වෙලාවෙත් එයා ළඟට වෙලා බලාගෙන ඉන්නවා.) මේ කවිය කියවලා එයාට එකසිය අසූ ගානට ඩෝං ගිහින් මා එක්ක රණ්ඩුත් වුණා මට මතකයි... ඒ කොච්චර කාලයකට ඉස්සරලද...!
"උපන් දිනය"
නැතිමුත් කිසි කෙනෙක් මා හට සුබ පතන
නැතිමුත් එවන්නට කිසිවෙක් පෙම් තිළිණ
නැතිමුත් ප්‍රිය සාද හෙම සවුදිය පිරෙණ
මෙය වෙයි මගේ විසිපස් වෙනි උපන් දින
විසිපස් වසරකින් මහලුව ඇත දිවිය
තව එක දිනක් වත් ඉන්නට නැත සවිය
සතුටක් යැයි දෙයක් මේ වනතුරු නොවිය
මේ විය හැකිය ලියවෙන අවසන් කවිය
පිට පිට දින දෙකක් සිටි එක තැනක් නැත
අද මෙහි සිටිමි හෙට යා යුතු අතක් නැත
ඒ ගැන හිතෙන විට ගිනි ගෙන දැවෙයි සිත
මේ "සුබ" උපන් දිනයේදිත් තෙමෙයි නෙත
කාලය ගෙවී යයි ඇසිපිය ගසන ලෙස
අඳුරුය හැමදාම ජීවන අහස් කුස
කුමටද මේ විලස තව මේ ලොවෙහි වැස
තව දුක් නොදී අද හෙට පියවියන් ඇස