හුදකලාව…

මම අර කියපු (මට) ලස්සන කවි පෙල තමයි මේ.  මේක මාතින් ලියවුනේ මීට වසර ගනනාවකට පෙර.  ඒත් එහි කියවෙන ඇතැම් දේවල් එදාට වඩා අදට මගෙ ජීවිතයට ගැලපෙනවා.  මට කාත් කවුරුවත් නැත්තෙම නෑ.  (කවුරු නැතත් ඔයාල ඉන්නවනෙ...!)  ඒත් ඒ කාටවත් නිවන්න බැරිවුන තනිකමක් මගෙ හිත ඇතුලෙ එදත් තිබුන... අදත් තියනවා.  සැබවින්ම තනිකම නිවන්න සිරුරින් ළඟ හිටියට මදිනෙ, හදවතින් තේරුම් ගන්නත් ඕනනෙ...  කියවල බලල කියන්නකො මොනවද හිතෙන්නෙ කියල...

කා බී නටන හිනැහෙන මිතුරන්                          අතර
සෙනගින් පිරි රියක ගමනක් යන                       අතර
දෙනෝ දහක් ගැවසෙන සුවිසල්                        නුවර
මා තනිවූ බවක් මට වැටහෙයි                           නිතර

හද තුල දලු දමන තනිකම                           නිවන්නට
දෙනෙතෙහි නැගෙන කඳුලැලි පිස               දමන්නට
දිවි ඇති තුරා මා අසලම ‍                           රැ‍ඳෙන්නට
කිසිවෙකු නැතිද මට සෙනෙහස                  පුදන්නට

නෑ හිතවතුන් මෙන් නොහඳුනනා                      අයද
ඇදී එති මවෙත පිළිසරණය                              අයැද
මා උන් ළඟින් හිඳ තනි මැකුවා                          වුවද
මගෙ තනි නොතනියට ළඟ ඉන්නේ                 කවුද

කෙළි බඩුවක් අහිමි වූ විට වැටෙන                       හඬා
පෙර දින වැළපුනෙමි දරුවෙකු විලස                 කුඩා
නොවැටී සිටිමි දැනුනද ගත සිතට                        විඩා
සවියක් තිබේ මට අද දින පෙරට                         වඩා

තනිවම ඉපදුනෙමි තනිවම දිවි                        ගෙවමී
මරු තුරුළටද යන දවසක තනිව                          යමී
මට කිසිවෙකු නැතැයි කිසි විට නොම           තැවෙමී
උරුමය තනිය නම් මම එය                        පිළිගනිමී

කඳුළක් හෙලන්නේ නැතිමුත් දුකෙන්                තැවී
අද මෙන් හෙටද ලියවෙනු ඇත මෙවන්               කවී
කිසිවෙකු ළඟ නැතත් මසිතට දෙමින්                   සවී
මට තනි රකිනු ඇත තනිකම වෙනස්                නොවී

7 comments:

  1. කවි ටික නම් ඇත්තටම ලස්සනයි..

    ReplyDelete
  2. Don't be worried. දාගෙන තියෙන නමට අරුතක් දෙන විදිහට ඉන්න. අඬාගෙන ඇවිල්ලා, අඬවගෙන යන්න පුළුවන් නම් ඒ ඇති. ඒ දෙකම නොවුනොත් තමයි හොඳ නැත්තේ.

    By the way, කවිටික නම් ලස්සනයි.

    ReplyDelete
  3. @LG
    තැන්කූ...! ඕව ලියන කවි නෙවෙයි, ඉබේම ලියවෙන කවි...

    @රන්දිල්
    කාවවත් අඬවන්න මට දුකයි රන්දිල්. අඬන එක කොයි තරම් වේදනාබර දෙයක්ද කියල මම අත්දැකීමෙන්ම දන්නවනෙ. මම උත්සාහ කරන්නෙ අඬාගෙන ආවට, අඬ අඬා ජීවත් වුනාට, යනකොට හිනාවෙවී යන්න... තැන්කූ කියවලා අගය කිරීම ගැන...

    ReplyDelete
  4. මට ඔහොම පාළු හිතෙන වෙලාවට, මම හොදටම ගුලිවෙලා නිදා ගන්නවා.. ඇති වෙනකල් නානවා... ඉබාගාතේ ඇවිදන් යනවා... අතේ සල්ලී තියෙනවා නම් හොදටෝම සිහි නැති වෙන්නම බොනවා..
    මට ඉතිං මෙහෙම කවි ලියන්න බෑනේ.. ඒත් ඔයාට නම් අන්තිමට මේ කවි ටිකවත් ඉතුරු වෙනවා. මට අන්තිමට මුකුත්ම ඉතුරු වෙලා නෑ... මට මම විතරයි, අන්තිමට.. හ්ම්...
    මගේ email address එක pissublog@gmail.com

    ReplyDelete
  5. Pawwww..... andana baba...

    ReplyDelete
  6. මහත්තයෝ, ඔබතුමාගේ කවි ටික නියමයි!
    කිරි පැංචාටත් කම්පියුටරේට ඇවිල්ලා කවියක් දෙකක් කියලා යන්න වෙලාවත් දුන්නොත් හොඳයි නේද? හොඳ රහක් තියෙන පොඩි එකෙක්!

    ReplyDelete
  7. මුචලින්ද තුමා, සමාවෙන්න ඕන ප්‍රමාදයට. පහුගියකාලෙ මම එක්තරා නිද්‍රාවකට පත්වෙලා හිටියෙ. ආයෙත් බ්ලොග් ලියන්න අද හෙටම එනවා. කිරිපැංචාත් ඔහේ කම්මැලිකමට ඉන්නවා. මමත් කිව්වා ලියන්න කියලා.

    ReplyDelete