අසම්පූර්ණ කවියක්...

මට තවමත් හොයගන්න බැරිවුනා මගෙ කුරු‍ටු ගී පොත. ඒක කොහෙ දාලද දන්නෙ නෑ. මම මතක ඇති කාලෙකින් කවි ලියල නෑ. මගෙ කවි උල්පත හිඳිල ගිහින් ගොඩක් කල්... මටම හිතාගන්න බෑ ඇයි මම කවි ලියන එක නැවැත්තුවෙ කියල. කාර්ය බහුලත්වය විසින් මාව එහෙම පිටින්ම යන්ත්‍රයක් බවට පත් කරල. දැන් නිදහසේ එක තැනකට වෙලා හිතන්න ඉසිඹුවක් ලැබෙන්නෙම නැතිතරම්. එහෙම කියනකොට මට මතක් වෙනව මම කොහේ හෝ කියවල තියන ඉංග්‍රීසි කවියක්.

What is this life if, full of care,
We have no time to stand and stare?


අපි බොහෝ දෙනෙකුගෙ ජීවිතේ සැබෑ තත්වය මේකයි... ඒත් මොනතරම් කලබල මැද්දෙ වුනත්, හිතේ මොන ප්‍රශ්න තිබුනත්, ඒ කිසිම දෙයක් ගානකට ගන්නෙ නැතුව ඔහේ ඉන්න පුලුවන් 'කම්මලේ බල්ලා' වගේ අය ඕන තරම් අපි අතරෙ ඉන්නවා. අවාසනාවකට වගේ මම ඒ ගොඩට අයත් වෙන්න තරම් පින් කරල නෑ... මම සංවේදී වැඩියි... ඉතින් අනිත් අතට, සංවේදී නොවන කෙනෙකුට පුලුවන්ද කවි ලියන්න...?

කොහොම හරි කමක් නෑ, මම අද මගෙ පරන පොත් ගොඩක් අවුස්සන කොට හම්බවුනා මම ගොඩක් ඉස්සර ලියපු ක‍ටු සටහනක්. ඒක කොල කෑල්ලක ලියල පැත්තකට දාල තිබුනෙ ටිකක් 'මෝරන්න' වෙන්න ඇති. මම ඉස්සර එහෙම කරනවා. කවියක් ලියන්න හොඳ අදහසක්, අනුභූතියක් ලැබුනහම ඒක හිතට ආව විදිහටම ක‍ටුවට කොල කෑල්ලක ලියල පැත්තකට දාල ඔහේ තියෙන්න අරිනවා. ඊට පස්සෙ ටික කාලෙකින් ඒක ආයෙ අරගෙන ලියල ඉවර කරනවා.

යම් අත්දැකීමක් විසින් අපේ හදවත වඩාත් කම්පනය කල විට අපි අතින් වඩාත් හොඳ නිර්මාන බිහිවෙන එක ඇත්ත. ඒත් ඒ ඇතිවුන කම්පනයේ තීව්‍ර බව ටිකක් අඩුවෙලා හදවතේ කම්පනය ටිකක් අඩුවෙලා යනකම් ඒ අත්දැකීම නිර්මානයක් බවට පත් කරන්න අපිට බෑ. පුලුවන් අය ඉන්නවද මන්ද, මටනම් බෑ. කොටින්ම දුක හිතෙන කවියක් ලියන්න අඬ අඬා බෑ. ඉකි ගහන එක නවත්තලා කඳුලු පිහදාගෙන ඕන ලියන්න වාඩිවෙන්න.

පීලි පැන්නා නේද...? මම කියන්න හැදුවෙ මම අද බ්ලොග් එකේ සටහන් කරන්න හදන කවිය 'නිමි භාන්ඩයක්' නෙවෙයි කියන එකයි. මට ඒක නිමා කර කර ඉන්න වෙලාවක් නෑ. ක‍ටු සටහනේ තිබුන විදිහටම ලියල තියන්නම්.

ඇ‍ඟේ ලේ මස් දියව යනතුරා
පෝසතුන් දෙපාමුල කඹුරනා
උන්ට මසුරන් ගනන් සොයාදී
සොච්චමක් අතට මිට මෙලැවෙනා

ඒ පඬුරු කාසි මිට අත දරා
ජීවිතේ වැඩිමිලට ගනිමිනා
අහිමි සැප සම්පතට හූල්ලා
සල්පිලේ අගු කොනක දවටෙනා

සිහිනයෙන් ඇස ගැටෙන යස ඉසුරු
සැබෑ ලොව කිසි දිනක නොලබනා
අනුන් හට මල් යහන් තනා දී
තමන් බිම සීතලේ ගුලිවෙනා

කිසිත් කර කියා ගනු නොහැකි මුත්
ඒ ගැනම නිතර ගිනි ඇවිලෙනා
උනු වතුර බොයිලේරුවකි පපුව
දිවා රෑ මුලුල්ලේ උතුරනා

ඉර හඳද තරුද ගෙන එන උන්ට
හැමදාම එක විලස ‍රැවටෙනා
උන්ව කර පිටින් ගෙන ගොස් තබා
යකඩ පාවහන් යට පොඩිවෙනා...


එපමණයි... ටිකක් වෙලා හිතුවොත් තව වැඩි දියුනු කරලා කවියක් බවට පත් කරන්න බැරි නෑ නේද...?

1 comment:

  1. මට නම් කවියෙ අසම්පූර්ණ බවක් පේන්නෙ නෑ. මේකෙන් කියවෙන්නෙ අපි කාටත් පොදු සත්‍යයක් නේද?

    ReplyDelete