කූඩුව හැර ගිය ගිරවාට...
කැලයෙම ඉපිද කැලයෙම ඇති දැඩිව හැදී
පෙර කරුමයට මිනිසුන් අතරකට වැදී
දුක් කම් කටොල්ලෙන් මෙතුවක් දවස් විඳී
නිදහස් වී ගියා නුඹ කූඩුවෙන් මිදී
කෑවත් අප සොයා දෙන රසවත් අහර
දෙඩුවත් අප දොඩන බස අතරින් පතර
කැලයේ නුඹේ නෑදෑයන් ළඟ විතර
සැපයක් නැතැයි සිතුනිද මිනිසුන් අතර
නිබ්බුත පද
හද පුදසුන මත පිදුන සෙනෙහසට
ලොවේ සියලු දෙන එරෙහිව එද්දී
හදවත සෝකෙන් පුපුරු ගසද්දී
ඉවසා සිටිනා ළඳක් සිටීනම්
එවන් හදක් ලද ළඳ නිවුනේ වෙයි
එවන් ළඳක් ලද හිමි නිවුනේ වෙයි...
මරණය රතු රෝස මලකි...!
අප වෙනුවෙන් පෙති පිබිදෙන
මරණය රතු රෝස මලකි
සියලු සතගෙ හිස පැළඳෙන
දිවියෙන් අප ලද සෝ දුක්
එහි සුවන්දින් පිසදා ලන
මරණය රතු රෝස මලකි
අවසන් මොහොතේ පිබිදෙන
බලාපොරොත්තුව...
නිදන්ට ගොස් වැතිරුනු කල යහනේ
නින්ද නොදී මා වළකන සිහිනේ
රෑ තුන්යම නොනිදා නිදි යහනේ
අවදිව සිටියදි මා දුටු සිහිනේ
කිසි දිනෙකත් එලි නොවෙනා සිහිනේ
සැබෑ ලොවේ මා නොදකින සිහිනේ
දිවියට වෙර වීරිය දෙන සිහිනේ
සැබෑ වෙයන් මතුදා ඒ සිහිනේ
'හෙට ඉරක් පායයි' ......................... ද???
හුදකලාව…
කා බී නටන හිනැහෙන මිතුරන් අතර
සෙනගින් පිරි රියක ගමනක් යන අතර
දෙනෝ දහක් ගැවසෙන සුවිසල් නුවර
මා තනිවූ බවක් මට වැටහෙයි නිතර
හද තුල දලු දමන තනිකම නිවන්නට
දෙනෙතෙහි නැගෙන කඳුලැලි පිස දමන්නට
දිවි ඇති තුරා මා අසලම රැඳෙන්නට
කිසිවෙකු නැතිද මට සෙනෙහස පුදන්නට
නෑ හිතවතුන් මෙන් නොහඳුනනා අයද
ඇදී එති මවෙත පිළිසරණය අයැද
මා උන් ළඟින් හිඳ තනි මැකුවා වුවද
මගෙ තනි නොතනියට ළඟ ඉන්නේ කවුද
කෙළි බඩුවක් අහිමි වූ විට වැටෙන හඬා
පෙර දින වැළපුනෙමි දරුවෙකු විලස කුඩා
නොවැටී සිටිමි දැනුනද ගත සිතට විඩා
සවියක් තිබේ මට අද දින පෙරට වඩා
තනිවම ඉපදුනෙමි තනිවම දිවි ගෙවමී
මරු තුරුළටද යන දවසක තනිව යමී
මට කිසිවෙකු නැතැයි කිසි විට නොම තැවෙමී
උරුමය තනිය නම් මම එය පිළිගනිමී
කඳුළක් හෙලන්නේ නැතිමුත් දුකෙන් තැවී
අද මෙන් හෙටද ලියවෙනු ඇත මෙවන් කවී
කිසිවෙකු ළඟ නැතත් මසිතට දෙමින් සවී
මට තනි රකිනු ඇත තනිකම වෙනස් නොවී
තනිකම…
අද මම තනියම...! අදින් පසුවත් තව කොච්චර කාලයක් මට තනියම ඉන්න වෙයිද දන්නෙ නෑහැ. ජීවිතේ අවසාන මොහොත දක්වාම තනියම ඉන්න වුනත් එහෙම ඉන්න පුලුවන් කියල මට විශ්වාසයි. තනිකම කියන්නෙ මට අලුත් දෙයක් නෙවෙයිනෙ. මගෙ හොඳම නිර්මාණ මා අතින් බිහිවුනේ තනියම හිටපු දවස් වල. එක අතකින් මම තනිකමට කැමතියි. තනිකම කියන්නෙ නිදහසට තවත් නමක් කියල මට හිතෙනව. හැබැයි නිදහස කියන්නෙ වල් බූරු නිදහස නම් නෙවෙයි... නිදහස තමුන්ටත් අනුන්ටත් කරදරයක් නොවෙන විදිහට භුක්ති විඳින්න අපි යම් සීමාවන් ටිකක් හදා ගන්න ඕනෙ. එතකොට නිදහස තරමක් දුරට ඇහිරෙනව තමයි. ඒත් සංවිධානාත්මක සමාජයක ජීවත් වන, ඒ සමාජය තුලින් ලැබෙන බොහෝ ප්‍රතිලාභයන් භුක්ති විඳින අපිට 100% ක නිදහසක් නෑ. සමාජානුයෝගී වීම පිණිස අපි අපේ නිදහසින් යම් ප්‍රතිශතයක් කැප කරන්න ඕනෙ. ඒ කැපකළ යුත්තේ මොනවද කියන එක ලැජ්ජාව, භය සහ හෘද සාක්ෂිය විසින් අපිට පෙන්වා දෙනවා. ඔය කියපු මාර්ගෝපදේශකයන් තිදෙනාට කීකරු නැති කෙනෙකුට නිදහස ලැබීම ඒ පුද්ගලයාටත් සමාජයටත් මහත් හිරිහැරයක් මෙනම අවදානමක්. එහෙම අයට නිදහසේ තනියම ඉන්න ඉඩ දෙන එක බොහොම භයානකයි.
මම කියන්න පටන් ගත්තෙ මගෙ තනිකම ගැන. ඒත් නැවතුනේ වෙන තැනකින්. කමක් නෑ. තනිකම ගැන මම ලියපු (මට)ලස්සන කවි පෙලක් තියනවා. ඒක මම ඊලඟ පෝස්ට් එක්කට දාන්නම්.
"අශුභ දවස" සහ "උපන් දිනය"
දවසින් දවස මියයන දින ඇදෙනු දැක
අපූරුයි නේද...? මා අතිනුත් ඔය විදිහෙම කවියක් ලියවුණා. ලිව්වා නෙවෙයි ඇත්තටම ලියවුණා. මගේ කවියෙ තියන සියලුම ප්‍රධාන කරුණු එදා ලියපු දවස වනවිට සම්පූර්ණ ඇත්ත... එකක් හැර... ඒ දවස් වල පෙම් තිළිණ එවන්න කෙනෙක් හිටියා... (මේ ලියන වෙලාවෙත් එයා ළඟට වෙලා බලාගෙන ඉන්නවා.) මේ කවිය කියවලා එයාට එකසිය අසූ ගානට ඩෝං ගිහින් මා එක්ක රණ්ඩුත් වුණා මට මතකයි... ඒ කොච්චර කාලයකට ඉස්සරලද...!
"උපන් දිනය"
විසිපස් වසරකින් මහලුව ඇත දිවිය
පිට පිට දින දෙකක් සිටි එක තැනක් නැත
කාලය ගෙවී යයි ඇසිපිය ගසන ලෙස
තනා දෙනු මැනවි මට පුතනුවකු, ස්වාමීනි...!
දුබල වී සිටින විට
එබව වැටහෙන තරම් සවිමත්වු
බියට පත්වූ විටක
තමාටම මුහුණ දෙන්නට තරම් එඩිතරවු
සබෑ පැරදුම අසළ
උදාරව නැගී සිටිනට හැකිවු
මුදු ජයක් ලද විටක
නිහතමානීව පිලිගත හැකිවු
පුතනුවකු මට තනා දෙනු මැනවි, ස්වාමීනි...!
ජීවිතේ ඉතිරි අඩ...(The rest of your life...)
අද තවත් එක නව වසරක පළමු දිනය... එක්තරා ආරම්භයක්... ඒත් තව පැත්තකින් බැලුවොත් අදත් තවත් එකම එක දවසක් විතරයි.
මගෙ ජීවිතේ පැත්තෙන් බැලුවොත් මැද හරියෙ දවසක්. අද මියගිය කෙනෙකුගෙ පැත්තෙන් බැලුවොත් අවසාන දවස. කොලම්බස්ගෙ පැත්තෙන් බැලුවොත් අනාගතේ දවසක්. 2029 උපදින්න ඉන්න කෙනෙකුගෙ පැත්තෙන් බැලුවොත් අතීතයෙ දවසක්...
කොහොම උනත් උදාවන හැම දවසක්ම අලුත් දවසක්. ඒක අලුත් ආරම්භයක් කරගන්න අපිට පුලුවන්. මාස 12න් ඕනැම මාසෙක ඕනැම දවසක මේ ආරම්භය සනිටුහන් කරන්න පුලුවන්.
Today is the first day of the rest of your life... (අද ඔබේ ජීවිතයේ ඉතිරි අඩෙහි පළමුවන දවසයි... )
කොහේ හෝ මා කියවා තිබූ ඒ කියමන අරමුණු කරගෙන බොහෝ කලකට පෙර මාතින් ලියවුනු කවියක් මා අද ඔබ වෙනුවෙන් සටහන් කර තබනවා...
නවෝදය...
උප මාතෘකාව -
Today is the first day of the rest of your life...
මධු විතක් අතින් ගෙන
බමන හිසකින් යුතුව
නිවෙන දුම් වැටියකින්
තව එකක් දල්වමින්
විකල්වූ හදවතින්
අයාලේ ඇවිදිමින්
ගෙවීගිය දිවිමගෙහි
පළමු අඩ නිමාවී
නව ලොවක් සොයාගෙන
නව මගක් දිගේ යන
ජීවිතේ ඉතිරි අඩ
අදින් ඇරඹෙන වගයි…!
කවිවල ලියන ජාති ඇත්තම වෙන්න ඕනැද? නැහැනෙ නේද? මොකද ඔය කියන වෙනස තාමත් මගෙ ජීවිතේ සිදු වෙලා නෑ. විකල් ගතිය නම් දැන් ටිකක් අඩුයි වගේ... වයසත් එක්ක මොනවහරි වෙනසකුත් වෙන්න ඕනැනෙ...
ලෝකයා ඔබව මනින්නේ…
"ලෝකයා ඔබව මනින්නේ ඔබට කළ හැකි දේ අනුව නොව ඔබ කර ඇති දේ අනුවයි."
මට මතක නැහැ කවුද එහෙම කිව්වෙ කියලා; කවුරු වුනත් සම්පූර්ණ ඇත්ත කතාව. ඒ අනුව ලෝකයා මාව මනිනවා ඇත්තෙ නිකමෙක් විදිහට. මට එහෙම හිතුනෙ ඊයෙ හවස ආව කෝල් එකක් නිසා. මගෙ හිතවතෙක් එයාගෙ වැඩකට පොඩි උපදෙසක් ගන්න කතා කළ ගමන් ටිකක් වෙලා කතාවට වැටුනා. ඒ කතා කරන ගමන් තමයි කිව්වෙ "කෝ ඔයාගෙ සිංහාවලෝකනේ...? පටන් ගත්ත විතරනෙ, මොනවත් ලියන්නෙ නැහැනෙ." කියලා. මම ඉතින් සාමාන්‍යයෙන් කවුරුත් කරන විදිහට කෙටි නිදහසට කාරණා දෙක තුනක් කියලා කතාව ඉවර කළා. ඒත් ඒ කතාව මට වැදුනා. ඇත්තනෙ... මම සිංහය වගේ මේ බ්ලොග් එක පටන් ගත්ත විදිහට මමත් හිතාගෙන හිටියෙ අනිත් බ්ලොග් වලට ඉඩ මදි වෙනකම් ලියයි කියලා. ඉතින් ඇයි මම ලියන්නෙ නැත්තෙ? ඇයි මම එක තැන ගල්වෙලා...
ඒකට ප්‍රධානම හේතුව ලෙස මා දකින්නෙ මගේ පළවෙනි විචාරකයා මමම වීම සහ ඒ විචාරකයා අනුකම්පා විරහිත, නිර්දය හා ඉතා ඉහල රුචිකත්වයක් ඇති කෙනෙක් වීම. ඊළඟ හේතුව විචාරකයා හරස් දන්ඩ ඉහළ දමන හැම විටකම ඊට ඉහලින් පනින්නට හැකි වනු පිණිස වඩාත් ඈතට ගොස් දුවගෙන එන්නට තරම් උට්ඨාන වීර්යයක් ලේඛකයාට නොතිබීම. සරලව කියනවානම් ලේඛකයා කම්මැලි වීම. "උඹට හොඳ නැත්නම් මටත් එපා" කියල බාගෙට ලියපුව මකලා දාල වෙන වැඩක් පටන් ගන්න එක දැන් කී වතාවක් සිදුවෙලා ඇත්ද? මගේ වින්දන ශක්තියේ තරමට මගේ නිර්මාණ ශක්තිය දියුණු වෙලා නෑ. ඒකටත් හේතුව කම්මැලි කමම තමයි...
මම දන්නවා මේක මට විතරක් තියන ප්‍රශ්ණයක් නෙවෙයි. තමන්ගෙම කොලිටි කොන්ට්‍රෝල් එක භාර ගන්න හැමෝටම තියන ප්‍රශ්ණයක්. අද මම ලියන්න ගත්තෙ මොනවා ලියවුනත් පළ කරනවා කියලා හිතාගෙන. හොඳම දෙයක් ලියවෙනකම් ඉන්නෙ නැතුව මොනවා හරි ලියනවා... ඒක කියවන්නත් මේ ලෝකෙ කවුරු හරි ඇතිනෙ...
කුරුටු ගී - මගේ කවිය...
මගෙ කුරුටු ගී පොත අස්ථාන ගත වෙලා තිබිල අයෙත් කොහෙන්දෝ මතුවුනා. ලියන්න දෙයක් හිතා ගන්න බැරුව පුරාණය වළඳන්න බලාගෙන ඉන්න මට ඒක ලොකු අස්වැසිල්ලක්... මම මේ බ්ලොග් එක පටන් ගත්තෙ කවි සිංදු විතරක් ලියන්න නෙවෙයි. ලියන්න කියල ගොඩක් අදහස් මගෙ හිතේ තිබුන. ඒත් කෝ දැන් ඒවා... ආයෙත් නිර්මාණාත්මකව ලියන්න පුලුවන් කාලයක් මගෙ ජීවිතේට ඒවිද...?
මේ කවිය ඇත්තටම මගෙ ජීවිතේට ගොඩක් සමීප එකක්. මේ අනුභූතිය මට විතරක් නෙවෙයි, සංවේදී හිතක් තියන ලියන කියන කාටත් පොදු එකක් මම හිතන්නෙ...
වියෝගේ මහ වැස්ස ඇදහැලී
වේදනා ගංවතුර ගලා හැලෙනා විටක
සීතලෙන් ගැහි ගැහී පාලුවෙන් සුසුම්ලන
ශෝකයෙන් ඉකි ගසන මගෙ හිතට
උණුසුමක් ගෙනෙන්නට දිවා රෑ
මා අසල ඇවිලෙනා මගෙ කවිය...
සැඳෑ විය පිල් කඩෙන් ගෙට එබෙන
කාත් කවුරුත් නැතිව
ජීවිතේ මාවතේ අතරමං වී හිඳින
කාන්සිය රජකරන මේ මොහොත
ගෙවී ගිය යෞවනේ මතකයෙන්
යලිත් නව ජීවයෙන් පුරවන්න
මා අසල ගැවසෙනා මගෙ කවිය...
ජීවිතෙන් සදහටම සමු අරන්
සුසානයෙ හුදකලා වී නිදන
මතු දිනක
කය දිරා ගියාදෙන්
නොදිරනා නම සමඟ
මලක් වී එක අත්තෙ පිපීයන්
මගෙ කවිය...
Each man carries within him the soul of a poet who died young. ~Sainte-Beuve, Portraits littéraires, 1862
A poet's autobiography is his poetry. Anything else is just a footnote. ~Yevgeny Yentushenko, The Sole Survivor, 1982
නවතන්න මගේ හද සමග සෙල්ලම් කෙරුම...!(Quit Playing Games With My Heart...!)
ඉතින් මෙයට සති දෙකකට පමණ පෙර මම පාන් ගෙඩියක් ගන්න කඩේට ගිය වෙලාවෙ මම දැක්ක අලුත් ඉංග්‍රීසි අධ්‍යාපනික ප්‍රකාශනයක් ඇවිල්ල තියනවා. මම කොයි එකටත් පුරුද්දට වගේ පිටපතක් මිලදී ගත්තා. අරන් බලන කොට මෙන්න බොලේ පිටුපස කවරය සරසලා වර්ණ පින්තූරත් එක්ක දාල තියෙන්නෙ මම පරිවර්තනය කළ ගීයක කොපියක්. හැබැයි මේ පාරනම් මගෙ හිතට ආවෙ තරහක්...
මම මේ පළ කරන්නෙ මම විසිඔන් එකට මුලින්ම ලියපු සහ මෑතදි කොපි කිරීමට ලක් වුණ පරිවර්තනයම නෙවෙයි. අද ටයිප් කරන ගමන්ම පොඩි සංශෝධන කිහිපයක් කළා. සංසන්දනය කර බැලීම පිණිස මේ ගීතයේ ඉංග්‍රීසි පද වැල මෙතනින් ගන්න පුලුවන්. බලන්නකො කියවලා...
නවතන්න මගේ හද සමග සෙල්ලම් කෙරුම...!
මගේ හද තුළ වුවද නිරතුරුව දකිමි මම
ඔබ තවත් මෙමාහට අවංකම නොවන බව
මගේ මුලු ආත්මය පතුලින්ම හැඟෙයි මට
සියල්ලම වෙනස් බව; පෙර පරිදි නොවන බව...
බොහෝ විට මේ ලෙසට සිත යටින් පතමි මම
හරවන්න හැකි වෙතොත් කාලයා පසුපසට
නොහැකි ලෙස පෙනෙන මුත් කරන්නට සිතෙයි එය
ඉතින් ඔබ නවතන්න
මගේ හදවත සමග සෙල්ලම් කරන එක...
ඔබ විසින් අප දෙදෙන දෙපසකට ඇද දමා
වෙන් කරන්නට පෙරම
දැන් ඉතින් නවතන්න
මගේ හදවත සමග සෙල්ලම් කරන එක...
අහිංසක මගේ හද තුළට ඔබ පිවිසෙන්න
පෙරාතුව දැන සිටිය යුතුව තිබුණේ මෙබව
ඔබ නැවත මා වෙතට යළි යළිත් පැමිණීම
නොනවතනු පිණිස මේ ලෙසට දිවි ගෙවමි මම
මා කරන සියලු දෙය කරමි ඔබ වෙනුවෙන්ම
එය ඔබට නොපෙනුණේ කුමන කරුමයකටද?
කිසිසේත් කරන්නට නොහැකි ලෙස පෙනෙන මුත්
කාලයා යළිත් පසුපසට හරවා ලීම
අහෝ මට හැකි වුණොත් කියා පතනෙමි වරෙක
ඔබ මගේ හද සමග සෙල්ලම් කරන එක
නවත්වා දමන්නට වේලාව පැමිණ ඇත…
I am not really busy; just disorganized...
"පසුගිය මාසයක කාලය පිළිබඳව විශේෂ සටහනක් තැබීමට තරම් යමක් නැත. සුපුරුදු පරිදි පදිංචිය වෙනස් කල නමුදු ජීවිතය එතරම් වෙනස් වී නැත. එහෙත් මා ....ට ආ පසුව මගේ ජීවන රටාව පෙරට වඩා සුලු වශයෙන් හෝ එක් පිළිවෙලකට හැඩ ගැසී ඇති බවක් මට දැනේ. අයාලේ ඇවිදීම වෙනුවට එක තැනකට වී සිටීම කොතරම් හොඳද? එහෙත් අනිත් අතට බලන විට මගේ ජීවිතයට වඩාත් ගැලපෙන්නේ අයාලේ ඇවිදීමමය..."
මීට අවුරුදු විස්සකට විතර ඉස්සර ලියපු සටහනක් ඒ. දැන් මම අයාලෙ තියා කොහොමටත් ඇවිදින්නෙ නෑ. මම වැඩියෙන්ම කැමති ගෙදරට වෙලා ඉන්න. ඒත් ඒ දින සටහන සහ මාස දෙකකට ආසන්න කාලයක ලියා තිබූ සටහන් කියවන කොට මට දැනුන මගෙ මනෝ කාය ශරීරයෙන් ඉවත් වෙලා ඒ යුගයට, ඒ පරිසරයට ආපහු යනව වගේ... මගෙ පරන දිනපොත් දැන් නෑ. නැති වුන එකත් හොඳයි...
හොඳම දෙය අවසනට - Save the Best for Last by Vanessa Williams
ඉංග්‍රිසි පද වැලත් ඕනද? ඕන නම් මෙතනින් ගන්න පුලුවන්...
හොඳම දෙය අවසනට - Save the Best for Last…
අහඹු ලෙස වුව වරෙක
පොසොන් මස හිම වැටෙයි
එලෙසින්ම තව විටෙක
සඳු වටා හිරු දිවෙයි
ඔබෙ නයන යුග තුලින්
ආදරය දකිමි මම
සමහරක් විට මෙමට
එය මහත් පුදුමයකි
මන්ද යත්...
ආදරය යනු මෙයැයි
ඔබ කියා දෙනු ඇතැයි
පතාගෙන සිටිනු හැර
වෙන කිසිත් නොකර සිටි
කාලයක් තිබු හෙයිනි
එය මෙමා පතා හුන්
පිඹුරු පත් තනා හුන්
ලෙසම සිදු නොවුන මුදු
කෙසේ හෝ සෑහේය
නමුත් දැන් අප දෙදෙන
සිටිමු මුහුණට මුහුණ
මේ මහත් ලෝකයම
උමතු පියසක් නොවෙද?
අප මොහොත පසු විනැයි
මා සිතන විටම ඔබ
හොඳම දෙය අවසනට
ඉතිරි කර තබා ඇත
අමන අඟනක් වෙතින්
මුදා හැර දමනු ලැබ
මා වෙතට ඔබ පැමිණි
සෑම සැන්දෑවකම
සිත හදා ගනු කෙලෙස
ඔබ සිතින් ලතැවුනද
ඔබට සිදු වුනෙ කිමැයි
විමතියෙන් හුනිමි මම
මන්ද යත්...
ඔබෙ සිහින මා සමග
බෙදා ගන්නා අතර
ඔබෙ සෙනෙහෙ වෙනෙකෙකුට
පිදිය හැකි වෙද කෙලෙස?
සමහරක් විට ඔබට
නොපෙනෙනා එකම දෙය
ඔබම සොයමින් සිටින
එම දෙයම විය හැකිය
කුරුටු ගී පොතෙන්...
"පිළිගැන්වීම...!"
මමත් නොදැන මගෙ සිත තුල
නිදා සිටිය මගෙ කවිකම
නිදි දැහැනින් පුබුදා ලූ
ඔබයි මගේ සරස්වතී...
ඔබේ නමින් ලියූ සියක්
කව් අතරින් අතලොස්සක්
එක් තැන්කර මෙසේ ඔබට
පිළිගන්වමි... පිළිගනු මැන...!
මම ලියන ඒවායේ නොයෙකුත් අඩුපාඩු ඇති... වියරණ දොස්, අක්ශර වින්යාස දොස් වගේ ඒවා. මා කෙරෙහි කරුණාවෙන් එවන් තැන් පෙන්වා දෙන ලෙස මේවා කියවන උගත් ඔබෙන් මා උදක්ම ඉල්ලා සිටිනවා...
ඒ වගේම මෙතෙක් කියවා ප්රතිචාර දැක්වූ සැමට හිස නමා අචාර කර මගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටින අතර ඔබට හිතෙන දේ මට ලියා දන්වන්නැයි කියවන සැමගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා...
බ්ලොග් ලියන අපි...
මට අද මේල් එකක් ආවා... මම වගේම බ්ලොග් එකක් ලියන කෙනෙක් ගෙන්... පහලින් තියෙන්නෙ මම ඒකට යවපු පිළිතුරින් උපුටා ගත් කොටසක්. මට හිතුන ඒක මෙතන පල කරොත් හොඳයි කියල...
බ්ලොග් ලියන අපි ගොඩක් ඉන්නෙ සංවේදී අය... මම කියන්නෙ අනුන්ගෙ ඕපදූපයි දේශපාලනෙයි ගැන ලියන අය නෙවෙයි; ඔයාල අපි වගේ අය ගැන... මේක විනෝදාංශයක් වගේම සුන්දර වේදනාවක්... හරියට කහන එක වගේ...
කහනකොට චුට්ටක් සනීපයි වගේ දැනුනට පස්සෙ දැවිල්ල හැදෙනවනෙ... අප්පිරියද ඒ උපමාව...? පරණ දිනපොත්, සටහන් පොත් අවුස්සගෙන මේ කරන්නෙ සනීප වෙලා වගේ පිටට පෙනෙන, ඒත් ඇතුලෙන් ඔඩු දුවන තුවාල අවුස්සලා කහන එක නේද...?
ඇත්තටම සංවේදී හිතක් තියන කෙනෙකුට බෑ තවත් කෙනෙකුට දුකක් දෙන්න තියා තව කෙනෙක් දුක් විඳිනව බලා ඉන්නවත්... කාට පුලුවන් වුනත් මටනම් බෑ... "අත්තානං උපමං කත්වා" කියමනට අනුව...
මේ වගේ ලියන අපි සේරම එකම ආගමක් අදහන, එකම වන්දනාවක යන අය... අපි එකිනෙකාට පිහිට වෙන්න ඕන, ශක්තිය දෙන්න ඕන, තනි නොතනියට ලඟ ඉන්න ඕන, වැටෙන්න යනවා දැක්කොත් නැගිටින්න අත දෙන්න ඕන... වෙන කවුද අපිට ඉන්නෙ...?
අපි දිගටම මෙහෙම ලියමු... කවුරු හරි බලල සතුටු වෙනවනම් ඒකත් ලොකු දෙයක්නෙ.
