යළි උපන් හිතක්

     මේ කවිය මාතින් ලියවුනේ මගේ අත් දැකීමක් පසුබිම් කරගෙන.  කාලෙකට ඉස්සර මම වැඩ කරපු කාර්යාලයක හිටියා ගෑණු ළමයෙක්.  ලස්සන පෙනුම ඇති ළමයා...  ඒත් මම මුලින්ම ගිය දවස් වල මෙයා හරි සැරයි.  මොනවා හරි ඇහුවොත් ගස්සලා උත්තර දෙන්නෙ.  ඕනැ වෙලාවක බැලුවොත් රවාගෙන ඉන්නෙ... වැඩි කතාවක් බහක් නෑ කා එක්කවත්...  

    ඒත් හිටපු ගමන් මේ ළමයගෙ හැසිරීම එහෙම පිටින්ම වෙනස් වුනා.  හැම වෙලේම හිනා වුන ගමන්... වැඩ කරන් ගමන් හෙමිහිට සිංදුවක් මුමුනනවා... මට ඇහෙනවා මොකද මම හිටියෙ ඒ ළඟම මේසෙ නිසා...  පස්සෙ අපේ (කාගෙ කාගෙත් තොරතුරු සියල්ලම දන්න) ටයිපිස්ට් නෝනගෙන් තමයි මේ වෙනසට හේතුව දැනගත්තෙ...  කියවලා බලන්නකො...

මල් පිපී තිබේ වටේ ගසුත් වැලුත් පිරී
රොන් සොයා ඇදේ ලස්සන පාට සමනලුන්
මෙතෙක් දු‍ටුවෙ නෑ මෙවන්වු සුන්දරත්වයක්
කිමද ඒ'නෙත් යුග තිබුනාද අන්ධ වී?

එදා මගේ සවන් පෙලූ කපු‍ටු නාදයත්
අද ඇසෙන්නෙ මිහිරි කොවුල් ගී හඬක් වගේ
ගීතයක් ගැයේ මගේ මුවින් මටත් හොරා
පෙර දිනේ කොහේද සැඟවී තිබුනෙ ගීතිකා

කතා බහෙන් මිදී සමීපයන් වෙතින් පවා
වෙන් වෙලා ඔහේ ගොලුවී සිටියෙමී එදා
සිනා සුනත් කෙනෙක් රවා බැලූ නමුත් කිපී
අද බනින විට පවා මහත් හඬින් සිනාසෙමී

සිතේ පිරීතිරී පිටාර ගලන සෙනෙහසින්
තෙමී සිහිල් වෙවී නිවී යතී ගතේ විඩා
කිසි දිනෙක යලිත් නොවේ මගේ හදේ තැවුල්
තනිකමක් නොවේ මෙමා ඔබේ ළඟින් නිසා

මිය ඇදුනු මගේ හදත් එදා වියෝගයෙන්
යළි උපන් බවක් හැ‍ඟෙයි ඔබේ සෙනේහයෙන්
ආදරය පිරී ඉතිරී යන කළට සිතින්
මුළු ලෝකයේම පේනවා අපූරු ලස්සනක්...

No comments:

Post a Comment